Friday, January 24, 2014

රටම කළු වෙයි මණ්ඩලේ බලූ වෙයි





ඉන්දියාවටත් විදුලිය සපයන බවට කටමැත දොඩවන දේශපාලන නායකත්වයක් හමුවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය අවදානමකට ලක්වෙමින් පැවතියද ඒ ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක මාෆියාකරුවන්ට නම් සරුසාර කාලයක් උදා වී ඇත.

ඒ අන් කිසිවක් නිසා නොව වසරේ වැඩි කාලයක් අක‍්‍රිය බලාගාරයක් මෙරට ස්ථාපිත කර ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලිය ජනනය කරගත නොහැකිව පෞද්ගලික විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීම හේතුවෙනි. සමස්ත රටවැසියාට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අඩු වියදම් විදුලිය නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කර ගල් අඟුරු බලාගාර මඟින් විදුලිය නිපදවා අඩු මුදලට රට වැසියාට විදුලිය ලබාදීම සඳහා යැයි පවසමින් නොරොච්චෝලේ බලාගාරය ස්ථාපිත කරන බව දේශපාලන නායකයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරින් එදා පැවසූ වදන් මෙරට ජනතාවගේ දෙසවන් තුළ අදටත් රැුව්පිළිරැුව් දෙයි.මේ රැුව්පිළිරැුව් දීම කෙබඳු තැනක ඇද්ද යන්න රට වැසියාට දැන් අවබෝධ වී අවසන්ය.

ඒ මෙම බලාගාරය 25 වැනි වතාවටත් අක‍්‍රිය වීමත් සමගිනි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2007 වසරේදී මෙම බලාගාරයේ කටයුතු ආරම්භ කෙරිණ. චීනයේ එක්සිට් බැංකුවෙන් ලබා ගත් ණය ආධාර යටතේ එහි ඉදිකිරීම් ආරම්භ කෙරිණ. අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක මෙම බලාගාරය සම්පූර්ණ වීමත් සමග ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කළ ධාරිතාව මෙගා වොට් 900කි. මේ සඳහා චීනයෙන් ලබා ගන්නා සමස්ත ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 891කි.

පළමු අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 455ක් වැයකර ඉදිකරන ලද බලාගාරය මඟින් මෙගා වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් විය.

පළමු අදියරේ කටයුතු අවසන්ව නිෂ්පාදන කටයුතු ඇරඹීමත් සමග අඛණ්ඩව විදුලිය නිෂ්පාදනයට යොමු වූයේ බලාගාරයේ පරීක්ෂණ ක‍්‍රියාකාරිත්වය සොයා බැලීමේ කාලය පිළිබඳ එතරම් තැකීමක් නොදක්වමිනි.

ඕනෑම යන්ත‍්‍රයක් හෝ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි ක‍්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වන්නේද යන්න පිළිබඳ යම් තක්සේරුවකට එළැඹීම සඳහා පරීක්ෂණ කාල සීමාවකට යටත් කිරීම ලෝකය පිළිගත් ක‍්‍රමවේදයයි. එය උල්ලංඝනය කරමින් නොරොච්චෝලේ පළමු අදියර අවසන් වීමත් සමග එහි උපරිම නිෂ්පාදන ධාරිතාව වන මෙගා වොට් 300ක නිෂ්පාදනයක් සඳහා යොමුවීමේ අනිටු විපාක සමස්ත ශ‍්‍රී ලාංකිකයාම අත්වි`දින බව නොරහසකි.

මේ අතර මෙම බලාගාරය සඳහා යොදා ගත් චීන නිෂ්පාදනවල කල් පැවැත්ම පිළිබඳ රට තුළ කතිකාවතක් ගොඩනැගෙමින් පැවතියේ ඒ වනවිටත් චීන නිෂ්පාදන පිළිබඳ ලාංකිකයා අවබෝධ කර ගෙන සිටි කරුණු අනුවය.

අඩු මුදලකට මිලදී ගත හැකි චීන නිෂ්පාදනවල ආයු කාලය කෙටි බව නොදන්නා ශ‍්‍රී ලංකිකයකු නැති තරම්ය.

මෙවන් පසුබිමක් මධ්‍යයේ විදුලිය නිෂ්පාදනයට අවතීර්ණ වන නොරොච්චෝලේ බලාගාරය දෛනිකව සිය උපරිම නිෂ්පාදනය වන මෙගා වොට් 300ක් නිපදවා ඉන් මෙගා වොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළේය.

මේ එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය වනුයේ රුපියල් 9ක් වැනි මුදලකි. එම නිෂ්පාදනය අහිමි වීමත් සමග ජාතික විදුලි නිෂ්පාදනය සපුරාලීම සඳහා විකල්ප ක‍්‍රියාමාර්ගවලට යොමු විය යුතුය. ඒ අනුව සිදුවනුයේ පෞද්ගලික විදුලි බලාගාර මඟින් විදුලිය මිලට ගැනීමටය.

ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ යම් සත්‍යතාවක් තිබිය හැකිය. නොරොච්චෝලේ රුපියල් 9කට නිපදවිය හැකි විදුලි ඒකකයක් පෞද්ගලික බලාගාර මඟින් මිලදී ගනුයේ රුපියල් 21ත් රුපියල් 25ත් අතර මුදලකට. ඒ අනුව ඉතාම පැහැදිලිව පෙනී යන්නේ එලෙස පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්නා සෑම විදුලි ඒකකයක් වෙනුවෙන්ම අවම වශයෙන් රුපියල් 11ක පාඩුවක් සිදුවන බවය.

විදුලිබල මණ්ඩල අභ්‍යන්තර තොරතුරුවලට අනුව එලෙස දෛනිකව වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හේතුවෙන් මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 30ක පාඩුවක් සිදුවෙයි.

සැමට විදුලිය ලබාදීමේ රජයේ අපේක්ෂාව බොඳ කරමින් ජාතික ආර්ථිකයට කළ හානියට වගකිව යුත්තන්ට නිසි දඬුවම් කළ යුතු බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවල අදහසය.

මෙම බලාගාරය මෙරට ස්ථාපිත කිරීමට පෙර ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළේද? බලාගාරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයට කණ්ඩායමක් චීනයට ගියේද? ඒ කවුරුන්ද? ඔවුන් කොපමණ කාලයක් එරට රැුඳී සිටියත් මේ පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ වාර්තාව කෙබඳු එකක්ද? මෙම බලාගාරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ චීනය ලබා දී ඇති සහතිකය කෙබඳුද යන්න මූලික කර කරුණු සොයා බැලිය යුතුය යන්න විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතිවල ඉල්ලීමය.

වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කිරීම රජයේ පාරදෘශ්‍ය භාවයට යහපත් වනු ඇති බවය. වෘත්තිය සමිති දෙස පටු කොණවලින් නොබලා ජාතියේ යහපත වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය යන්නද ඔවුන්ගේ අදහසය.

සෑම වසරකම අවසානය වනවිට විදුලිබල මණ්ඩලය ගණන් හිලව් ඉදිරිපත් කරමින් ලබන පාඩුව මිලියන ගණනින් පෙන්වා පිටු ගණන් වාර්තා ඉදිරිපත් කරති. ඒ සමගම ඔවුන් කරන්නේ ජනතාව තවත් පීඩනයට ලක් කළ නොහැකි බවට කිඹුල් කඳුළු හෙළීමයි. පසුගිය වසර කිහිපය තුළම මේ අත්දැකීමට ලාංකික විදුලි පාරිභෝගිකයාව ඇන්දවීමට බලධාරිහු උත්සුක වූහ.

මෙහිදී ඔවුන් කියා සිටියේ අමුතුම තියරියකි. ඒ තවත් මිල වැඩි කිරීමක් සිදුනොකරන බවය. සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා මිල සංශෝධනයන් සිදුකළ යුතු බව ඔවුන්ගේ තර්කයයි.

එහෙත් එවැනි පාඩුවක් ලැබීමට හේතු විස්තරාත්මකව විමසා බැලීමක් නොකරන බලධාරින් සියලූ දෝෂ ජනතා කර මතින් යැවීමේ න්‍යාය පමණක් අනුගමනය කරති. සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක ලාභ මෙන්ම පාඩු සිදුවිය හැකිය. මිල සංශෝධනයත් මඟින් සිදුකරනුයේද ලබන පාඩුව අවම කර ගැනීමය. අදාළ ආයතනය තුළ කාර්යක්ෂමතාව වර්ධනය කර නාස්ති අවම කර ගනිමින් පෙර වර්ෂයේ සිදු වූ නාස්තිය, ¥ෂණය වැළැක්වීමට පියවර ගත යුතුය. එහෙත් ඒ කිසිවක් මේ මණ්ඩලයට අයත් නොවේද යන්න ගැටලූවකි. ආසියාවටම විදුලිය සපයන්න සිහින දකින බලධාරින් අඩු මිලට රට වැසියාට විදුලිය ලබාදීමට කටයුතු නොකරනුයේ ඇයිද යන්නත් ගැටලූවකි.

¥ෂණයේ වක්කඩවල් වසා දැමීමට බලධාරින් කටයුතු නොකරනුයේ තම කුට්ටිය අහිමි විය හැකි නිසාද විය හැකිය. ජනතාව සතු සම්පත් මෙලෙස කොල්ලකෑමට ඉඩ හැර බලා සිටිය හැකිය. ඔවුන් තේරුම් ගත යුත්තේ තමන් දරන තනතුරු තාවකාලික බවය. එසේම ඔවුන් කිසිවකු ඒවායේ හිමිකරුවන් නොවේය යන්නය. තාවකාලික භාරකරුවන් පමණක් යන්න ඔය සියල්ලෝම අවබෝධ කර ගත යුතුය.

වැඩි මිලට විදුලිය ගැනීම

මෙලෙස විදුලිය නිෂ්පාදනය බිඳ වැටීමත් සමග පවතින ඉල්ලූම සැපයුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වැඩි මිලට විදුලිය

ලබා ගැනීම සිදු කරයි. ඒ පෞද්ගලික තාප විදුලි බලාගාරවලිනි. මෙම පෞද්ගලික තාප බලාගාර සඳහා ඉන්ධන සැපයිය යුතුය. ඒ සඳහා අතිරේක නිෂ්පාදනයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ම`ගින් සිදුකළ යුතුය. ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව එම අතිරේක ඉල්ලූමට සරිලන පරිදි තෙල් ආනයනය කළ යුතුය. මේ සඳහා වැය වනුයේ ජාතික ධනයයි.

මේ තත්ත්වය උදාවීම උදෙසා බලපාන ලද ප‍්‍රධාන කාරණා කිහිපයක් ඇත. ඉන් පළමු වැන්න නම් විදුලිබල ක්ෂේත‍්‍රයේ අල්ලස හා ¥ෂණය ඉතා ඉහළ මට්ටමක පැවතීමය. නොරොච්චෝලේ විදුලි බලාගාරය වැනි ප‍්‍රමිතියෙන් තොර බලාගාර ලංකාවේ ඉදිවන්නේ ඒ හරහාය. දෙවැනි කරුණ නම් අප රටට ලැබුණු පළමු ගල් අඟුරු බලාගාරය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක‍්‍රියාත්මක කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳ විදුලිබල මණ්ඩලයට දර්ශනයක් නොවීමය. තුන් වැනි කරුණ වනුයේ අඩු මුදලකට ලබාගත හැකි සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති වෙත වැඩි අවධානය යොමු නොකොට තෙල් බලාගාර මත වැඩි විශ්වාසයක් තැබීමය. එසේම ජලය හොඳින් ලැබෙන අවස්ථාවලදී ඉන් කාර්යක්ෂමව ප‍්‍රතිඵල ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් නොවීමද ප‍්‍රධාන ගැටලූවකි. මේ හේතුවෙන් බලාගාර බිඳ වැටී ඇත. එසේම වියදම් ඉහළ ගොස් ඇත. ඒ මතින්ම විදුලිබල මණ්ඩලය උත්සහ දරනුයේ ඒ සියල්ල අවසානයේ ජනතාව මත පැටවීමටය.

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානම


මෙවැනි තත්ත්වයක් හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය දෛනික නිෂ්පාදනයට අමතරව තවත් මෙටි‍්‍රක් ටොන් දහසක්වත් දෛනිකව නිපදවිය යුතුය. මේ වනවිට තෙල් සංස්ථාවේ දෛනික ක‍්‍රියාවලි අනුව තෙල් මෙටි‍්‍රක් ටොන් 2200ක ධාරිතාවක් පවත්වාගෙන යයි. මෙලෙස ඉන්ධන ඇනවුම් කිරීම මඟින් දේශීය ආර්ථිකයට වන හානිය කිසිවකු කතා නොකරයි. ඔවුන් කතා කරනුයේ ඉන්දියාවටත් විදුලිය සැපයීම පිළිබඳය.

ජල විදුලි බලාගාරවල ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් පහත යමින් පවතී. එම බලාගාරවල ජල මට්ටම සියයට 23ක් දක්වා පහත වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.

එක්වරම ඇති වූ මේ තත්ත්වයට හේතු වූයේ තාප බලාගාර හා ජල විදුලි බලාගාර ඒකාබද්ධව කරගෙන ආ විදුලි නිපදවීම වෙනුවට විදුලිබල මණ්ඩලයේ හා මුදල් අමත්‍යාංශයේ අර්බුදය වසා ගැනීම උදෙසා වැඩි වැඩියෙන් ජල විදුලිය නිපදවීම උදෙසා යොමු වීමයි. ඒ හරහා සිදුවූයේ ජලාශවල අතිරික්ත හා ඉතිරි කාල සඳහා අවශ්‍ය ජලයද යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමය. මේ හරහා සිදුවූයේ බලාපොරොත්තු නොවන ලෙස ජල මට්ටම පහළ බැසීමය.

ඒ වසර තුළ විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරනු ලැබුයේ ගිගාවොට් පැය 4400ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කිරීමය. එසේ සැලසුම් තිබියදීත් ඉහළින් පැමිණි නියෝග මත ගිගාවොට් පැය 6000ක් විදුලිය නිෂ්පාදනය කෙරුණි. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ අද වනවිට ජලාශවල ජලය සිඳී යෑමය.

ජලය හිඟ වීම හේතුවෙන් තාප විදුලි බලාගාරවල නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇත. මේ හරහා සිදුවන්නේ පෙර ක‍්‍රියාත්මක වූ මාෆියාව කරළියට පිවිසීමය. පෞද්ගලික බලාගාර මඟින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් අතිරේකව ඉන්ධන ආනයනය කිරීමත් හරහා අතරමැදි මාෆියාකරුවන්ගේ මඩි තරවීමය.




හොරුන්ගේ පගාකාරයන්ගේ බර ජනතාවට

රංජන් ජයලාල් - ප‍්‍රධාන ලේකම්
ලංකා විදුලි සේවක සංගමය


අපි ඉල්ලන්නේ ජාතික වගකීමක් ඉටු කරන්න කියලා. පොදුවේ වෘත්තිය සමිති දිහා බලන විදියට නොබලා අපි කියන දේට ඇහුම්කන් දෙන්න. රජයක් විසින් කළ යුතු කාර්යයක් පිළිබඳයි අපි මතක් කරන්නෙ. මේකේ වාසිය රජයටයි. හොරුන්ගේ ¥ෂිතයන්ගේ පගාකාරයන්ගේ බර ජනතාව මත පටවන්න එපා කියන ඉල්ලීමයි අපි කරන්නෙ.

කවුද මේවට වගකියන්නෙ. විදුලිබල මණ්ඩලයේ බලධාරින් කරන්නේ සුළු සේවකයාගේ රුපියලක් දෙකක් රුපියල් පනහක, සියයක වංචාවක් අල්ලගෙන වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වනවා හැර මෙවැනි සමස්ත රටටම බලපාන බිලියන ගණනින් ගසාකන අය ගැන හොයන්න කවුරුවත් නෑ.

වසරක් අවසානයේ පාඩුව ගැන කියලා මිල වැඩි කරන්න ඉල්ලනවා මිස පාඩුවට හේතුව ඔය කවුරුවත් හොයලා බලන්නෙ නැහැ. පසුගිය වසරේ සිදුවෙච්ච පාඩුව ඒ ආකාරයටම මේ වසරෙදීත් සිදුවිය හැකියි. එයයි නැවැත්විය යුත්තේ.

නිපැයුම් බිඳවැටීම නිසා මිල වැඩි වේවි

ආනන්ද පාලිත - සභාපති
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමය


මේ විදුලිය නිෂ්පාදනය බිඳ වැටීමත් සමග ඉදිරි මාස තුන තුළ නියත වශයෙන් මිල වැඩි කිරීමක් සිද්ධ වෙනවා. නැත්නම් ලැබෙන පාඩුව පියවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් විදුලිබල මණ්ඩලයටවත් ඛනිජ තෙල් සංස්ථාවටවත් නැහැ. ඒකෙන් වෙන්නේ රටේ මුදල් විදේශයන්ට ඇදී යාමයි. ඒක රටේ උද්ධමනයට හේතුවක්.

තෙල් සංස්ථාව කිව්වා 2013 වසර අවසන් වුණේ හෙජින් ගිවිසුමේ ණයක් ගෙවලා පාඩු නැති ලාභත් නැති තත්ත්වයට සංස්ථාව පත් කරලා කියලා. ඒ අනුව පැහැදිලියි. සංස්ථාව බැංකුවලින් ගත් ණයවල පොලී මුදලත් රට වැසියාගෙන් අයකර ගත් බව.

ජනවාරි 01 වැනි දින සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් බෙදා හරින්න පියවර ගත්තා. ඒ සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම සංස්ථාව ශත 89ක පාඩුවක් ලබනවා. ඒ කියන්නේ මිලියන 18ක පාඩුවක්. මේ බර පැටවෙන්නේ ජනතාව මතයි. මිල සූත‍්‍රයක් කියලා ඒකත් හඳුන්වලා දුන්නාට ඒක වෙන්නේ සංස්ථාව ලබන පාඩුව පියවා ගන්නා උපක‍්‍රමයක්. මණ්ඩලේ බලූ වෙයි


විදුලි බිල වැඩිවීමක් නැහැ

සෙනජිත් දසනායක - මාධ්‍ය ප‍්‍රකාශක
විදුලිබල අමාත්‍යාංශය


දැනට පවතින තත්ත්වය තුළ විය හැක්කේ විදුලි බලය නිපදවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවන වියදම ඉහළ යෑම පමණයි. ඕනෑම වසරක ජනවාරි, අපේ‍්‍රල් අතර කාලය තුළ ජල විදුලි නිෂ්පාදනය අඩුවෙනවා. එයට හේතුවන්නේ ජලාශවල ඇති ජලය බෙදාහැරීමේදී ජල කළමනාකරණ කාර්යාංශය ප‍්‍රමුඛතාව ලබා දෙන්නේ වගා කටයුතු හා මිනිස් අවශ්‍යතාවලට වීමයි. විදුලිය නිපදවීම කියන්නේ දෙවැනි කාරණාවක්. අපට අවශ්‍ය පරිදි ජලය ලබා ගැනීමක් කළ නොහැකියි. පසුගිය වසරේ ජලාශ සියල්ලම පිටාර ගලන මට්ටමට ජලය වැඩිවීම නිසයි ජල විදුලි නිෂ්පාදන ධාරිතාව වැඩි වුණේ. නැත්තන් ඒකට වෙනත් කිසිදු හේතුවක් බලපෑවේ නෑ. ඒ වැඩිවීම නිසයි විදුලිබල මණ්ඩලය තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් තිබුණු ණය ගෙවීමට හැකිවුණේ. ඒ හින්දා මේ පාර තෙල් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

විදුලි බිල වැඩිවීමක් හෝ විදුලිය කප්පාදු කිරීමක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නෑ. හොර රහසේ විදුලිය යම් යම් පැතිවල ලබාදීම නවත්වනවා කියන එක පදනම් විරහිත කතාවක්. අනික මිල වැඩිවීම පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමටයි. මාස හයකට වරක් ඔවුන් එය වැඩිකළ යුතුද නැද්ද යන්න තීරණය කරනවා.


ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරයි කියලා සිතන්න බැහැ

බන්දුල චන්ද්‍රසේකර - උපදේශක
ජාතික විදුලි පාරිභෝගික සංසදය


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බිඳ වැටීමේ තත්ත්වය තුළ ජල විදුලි නිෂ්පාදිතය 28%ක් අඩු වෙලා තියෙනවා. මේ වනවිට 62%ක්ම නිෂ්පාදනය වන්නේ තාප විදුලියයි. දැන් රුපියල් 26 සිට 45 දක්වා විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට දරන්න වන වියදම ඉහළ ගොස් තිබෙනවා. කැලණිතිස්ස ද්විත්ව චක‍්‍ර

බලාගාරය බිඳ වැටීමත් සමග මේ තත්ත්වය බරපතළ වුණා. මේ හේතුවෙන් රාත‍්‍රී කාලයේ විදුලි ඉල්ලූම සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ නගරයෙන් බැහැරව නොදන්වා විදුලිය කප්පාදුවක් සිදුවනවා.

ඉදිරි මාසය තුළ මධ්‍යම කඳුකරයට අවශ්‍ය වර්ෂාපතනය නොලැබුණොත් විදුලි කප්පාදුවක් ඒමට නියමිතයි. පසුගිය වසරෙදී විදුලිබල මණ්ඩලය පැවසුවා විදුලි බිල තුළ තිබෙන ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරන්න උත්සහ දරනවා කියලා. නමුත් දැන් 62%ක්ම තාප විදුලිය නිපදවන පසුබිමක් තුළ ඉදිරි කාලය තුළ ඉන්ධන ගැළපුම් ගාස්තු ඉවත් කරයි කියලා කීයටවත් හිතන්න බෑ. එහෙම අයින් කරන තත්ත්වයක් මතු වුවවොත් විදුලිබල මණ්ඩලය අර්බුදයකට ලක් වෙනවා. එසේම නොරොච්චෝලේ බලාගාරය ඉදි කරන අවස්ථාවේදී දුන්න පොරොන්දුවක් තමයි එහි නිෂ්පාදන ඇරඹීමත් සමග විදුලි බිල අඩු කළ හැකි බව. ඒත් දැන් ඒ පොරොන්දුව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. දැන් බිල අඩු කරන එක කෙසේ වෙතත් එන්න එන්න විදුලි බිල වැඩි කරන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.

මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නෙ නොරොච්චෝලේ වගේ ප‍්‍රමිතියෙන් තොර බලාගාර ගෙනැවිත් සවි කිරීමත් එහි පරිපාලනය සම්බන්ධව සිටි විදුලි ඉංජිනේරුවන් හා යාන්ත‍්‍රික ඉංජිනේරුවන් අතර හටගත් ගැටලූව තුළ කාර්යය පිළිබඳ දැනුම සහිත යාන්ත‍්‍රික ඉංජිනේරුවන් පිරිසකට අවස්ථාව ලබා නොදීම තුළ මේ බිඳ වැටීම් ඉහළ ගියා.ලක්ෂපාන හා කැනියෝන් බලාගාරවල ජල ධාරිතාව අඩුවීම තුළ මේ වනවිට විදුලි නිෂ්පාදනය නවතා තියෙනවා. නඩත්තු කටයුතු හේතුවෙන් රන්දෙණිගල බලාගාරයෙත් අඩු විදුලිය ධාරිතාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව රටම විදුලි අර්බුදයකට යොමුවෙමින් පවතිනවා.

විදුලි බලාගාර බිඳ වැටීම හා තාප බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීම හරහා දවසකට සිදුවන පාඩුව රුපියල් මිලියන 72ක්. පසුගිය වසර තුළ සිදුවූ බිඳවැටීම නිසා පමණක් කෝටි 784 මුදලක් විදුලිබල මණ්ඩලයට පාඩු වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම ගියොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවෙනවා. මොකද මහජන බැංකුවෙන් ලබා ගන්නා ණය මඟින් තමයි විදුලිබල මණ්ඩලයට තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්න වෙන්නෙ.

ගිය වසරේ හොඳින් ජල විදුලිය තිබ්බ නිසා විදුලිබල මණ්ඩලය කාරක ලාභයක් ලැබුවා කෝටි 14000ක. එහි ප‍්‍රතිඵල පාරිභෝගිකයාට ලැබෙයි කියලා පාරිභෝගිකයා බලාපොරොත්තු වුණා. මේ තත්ත්වය තුළ එසේ අඩුවීමක් වෙයි කියලා අද වෙනකොට හිතන්න බෑ.


සරත් චන්ද්‍රසිරි - කාංචන ගීත් මනමේන්ද්‍ර

No comments:

Post a Comment